යහපාලන ආණ්ඩුව සැමට එක සේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා සේ ඇඹිලිපිටිය සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, ඇඹිලිපිටිය සිද්ධියේදී පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම්, පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්, මේ පිළිබඳව මීට පෙර ප්‍රකාශ සිදුකර තිබෙන බවත්, පවතින සාක්ෂි මත ඇඹිලිපිටිය සිද්ධියේදී චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ හිතවතුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තම සංවිධානය විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව බවත්, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ගොඩනැගූ අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ පැතුම වූයේත් සාධාරණ සමාජයක් ගොඩනැගීම බවද එම සංවිධානය සඳහන් කරයි.