මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ 15 වැනි සංවත්සර උත්සවය හා මෛත්‍රී භූෂණ උපහාර උළෙල ඊයේ (03දා) පස්වරුවේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරියේදී පැවැත්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී ජනපතිවරයා උත්සව අවස්ථාවෙන් පිටව ගිය පසුව එම අවස්ථාවට එක්ව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය කතාව පවත්වමින් පැවැසුවේ සමාජයේ බෝහෝ දෙනෙක් තමන්ගේ වැරදි වෙනුවට අනුන්ගේ වැරදි ගැන කතා කරමින් සිටින බවයි.
එසේම ශ්‍රී ලංකාව මේ වන මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය භාවිත කරන රටවල් අතර ඉදිරියට පැමිණෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට සම්මානයක්ද පිරිනැමීය.
උත්සව සභාව ඇමතූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා,
“අද අපේ රට අංක එකේ තත්ත්වයන් වලට යනවා. වර්ග ප්‍රමාණයක් හැටියට වැඩියෙන්ම මිනී මරන රට. වැඩියෙන්ම මත්ද්‍රව්‍ය භාවිත වන රටක් ලෙස. ස්ත්‍රී දූෂණ වලින් වැඩිම රට හැටියට. වඳවී යන ජාතීන් අතර අපි දැන් දෙවැනි ස්ථානට වගේ ඇවිල්ලා.
මෙන්න මේක තමයි ඇත්ත. ඇත්ත හැමවෙලාවෙම තිත්තයි. නමුත් අපි දැනගත යුතුයි. අපි මෙ තත්ත්වයන් තුළ කාලය වැය කළ යුත්තේ අනුන්නට දෝෂාරෝපණය කර කර වැරැද්ද අනුන්ගේ පෙන්වා දිදී විවේචනව කර කර (සිටීම නෙමෙයි). ඕකට හොඳ කතාවක් තියෙනවා.
ඉතාම දුර්ගන්ධය හමන අසූචි ගොඩක වැටිලා ඉන්නවා මනුස්සයෙක්. ටිකක් නුඳුරින් පාරින් යනවා සුඳු වස්ත්‍රයක් ඇඳගත්ත මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ සුදු වස්ත්‍රය තුළ අහම්බෙන් වැටුණ මුත්‍රා බිඳුවක් තියෙනවා.
මේක හොඳට පේනවා අර මනුස්සයට (අසූචි ගොඩක වැටී සිටින) කෑගහලා කියනවා වටපිටාවේ ඉන්න අයට ඇහෙන්න ‘අර බලපන්කෝ අර මනුස්සයා යන හැටි කැතේ බෑ. අහවල් දේ නිසා.’ එයා ඉන්නේ කොහෙද?
මෙය අපේ සමාජයේ කීයෙන් කී දෙනෙකුට කොයි පමණකින් ගැලපෙනවද කියන එක ඔබ තීරණය කර ගන්න” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.
පසුගිදා වත්තල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ රටේ අපරාධ රැල්ල වැඩිවීම පිළිබඳව තමන් පොලිස්පතිවරායට තදින් කතා කළ බවයි.