ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ පොලිස් නිලධාරිනියන්ටද පොලීසියේ ඉහළම නිලයන් හෙබවීමට අවස්ථාව සැලසෙන පරිදි උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවත්, මේ වනවිට ඒ සම්බන්ධ සාකච්ඡා පවත්වන බවත් ජාතික පොලිස් කොමිසම පැවසීය.
මේ වනවිට පොලිස් අධිකාරී තනතුර දක්වා පමණක් පොලිස් නිලධාරිනියන්ට උසස් වීම් ලබාගත හැකි අතර, දැනට පවතින අනුමත කාර්යමණ්ඩලය යටතේ ඉන් ඉහළට යා නොහැකි බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා 'අද' ට පැවසීය.
පොලිස් කාන්තාවන්ට ලැබිය හැකි ඉහළම පදවිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය වුවත්, එයට ඉහළ තනතුරු ඇති කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන බවත්, ඔවුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමට හැකි වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බවත් ඔහු කීය.
අවසන් වරට කාන්තාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර හොබවා තිබෙන්නේ මීට වසර විස්සකටත් ඉහතදී වන අතර, ඒ ප්‍රමිලා දිවාකර පොලිස් නිලධාරිනිය විසිනි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරී සංඛ්‍යාව 85,000 ක් පමණ වන අතර, ඒ අතරින් 13,000 ක් පොලිස් කාන්තාවෝ වෙති.
දැනට සේවයේ නිරතව සිටින්නේ පොලිස් කාන්තාවන් 10,000 ක් පමණ බැවින් පොලිස් කාන්තාවන් 3000කගේ පුරප්පාඩුවක් පවතින බවද පොලිස් කොමිසම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පොලීසියේ පහල නිලධාරීන්ගේ උසස් වීම් නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේ හෙතෙම පැවසුවේ දීර්ඝ සේවා කාලය පදනම් කරගනිමින් එම පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට යෝජනා වූ බවයි.
නමුත් මෙහිදී සුදුසුකම් ඇති පුද්ගලයන්ට උසස් වීම් නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇති බැවින් ලකුණු ක්‍රමයක් අනුව උසස් වීම් ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවද ආරියදාස කුරේ මහතා පැවසීය. ඒ අනුව මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොලිස් සේවයේ පහළ නිලධාරීන්ටද උසස් වීම් සඳහා අයදුම් පත්‍ර කැඳවන බව ජාතික කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.