පොලිස් උසස්වීම් ලබාදීමේදී පොලිස් උප සේවාවේ සිට නිත්‍ය සේවාවට පැමිණි පිරිස්වලට දැඩි අසාධාරණයක් සිදු කරමින් ඇතැයි නිත්‍ය සේවාවට පැමිණි පොලිස් නිලධාරීහු සඳහන් කරති.
30 වසරක් පුරා පැවැති යුදමය තත්ත්වය හා වෙනත් හේතූන් සැලකිල්ලට ගෙන පොලිස් උප සේවාවට පොලිස් නිලධාරීන් බඳවාගත් බවද එම පිරිස් පෙන්වා දෙති.
මේ අනුව සමස්ත පොලිස් සේවාව තුළ සිටින 32,000කට අධික පිරිසක් උප සේවය යටතේ පොලීසියට එක් වී ඇති බවත්, මෙම සියලු දෙනා 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට නිත්‍ය සේවාවට ඇතුළත් කරගත් බවත් එම පිරිස් සඳහන් කරති.
නිත්‍ය සේවාවට බඳවා ගැනීමේදී සමස්ත පොලිස් සේවා කාලය උප සේවයට බැඳුණු දා සිට ගණනය කිරීමට තීරණයක් ගත් බවත්, 2017 වසර අවසන් වනතෙක් එම පදනමින් උසස්වීම් ලබාදුන් බවත් එම පිරිස් පෙන්වා දෙති.
එහෙත් මේ වනවිට උසස්වීම් ලබාදීමේදී සලකා බලන්නේ 2006 පෙබරවාරි මාසයේදී සේවයට එක් වූයේය යන පදනම යටතේ බවත්, මේ හරහා පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් එම පිරිස් කියා සිටිති.
මේ පිළිබඳ 'අද' පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් ගන්නා ලද තීරණයකට අනුව උප සේවා කාලය ගණනය නොකිරීමට තීරණය කළ බවයි.
2017 අවසන් කාලයේ සිට මෙම ගණනය කිරීම සිදු නොකරන බවත්, 2006 සිට 2017 වසර වනතෙක් සිදු වී තිබෙන්නේ වරදක් යැයි තීරණය වී තිබෙන අතර, එම වරද දිගටම සිදුකළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
අදාළ කාලය සැලකිල්ලට ගෙන උසස්වීම් ලබාදීම නිසා පරිපාලන ගැටලු රාශියක් නිර්මාණය වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.