කුමාර් ගුණරත්නම් මහතාගේ ගැටලුව සම්බන්ධයෙන් නිල වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම පක්ෂයේ ප්රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා ජනපතිවරයාට සහ අගමැතිවරයාට ලිපි යවමින් සඳහන් කරනුයේ මෙම ගැටලුව සම්බන්ධව වත්මන් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරය දැනගැනීමට තම පක්ෂය අපේක්ෂා කරන බවයි.
කුමාර් ගුණරත්නම් මහතා මෙන්ම ලංකාවේ තවත් බොහෝ දෙනෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වී තිබෙන බැවින් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු අනුව එම ගැටලුවලට විසඳුමක් ලබාදීමට වගකීමක් තිබෙන බව ගුණතිලක මහතා පෙන්වා දෙයි.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරතවීමට මෙම හොඳ අවස්ථාවක් බැවින් කුමාර් ගුණරත්නම් මහතා යළි ශ්රී ලංකාවට පැමිණි බවත්, ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම රජයේ වගකීමක් බවත් ප්රධාන ලේකම්වරයා සඳහන් කරයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වේලාවක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.