මැතිවරණ කොමසාරිස්වරයා ලබන 8 වැනිදා පාර්ලිමේන්තු විවාදය ප්‍රචාරය කිරීමට නෙදෙන බවට පවසන බවත්, මේ වාර්තාව සියලු මාධ්‍යවලින් සජීවීව විකාශය කිරීමට දෙන ලෙස මැතිවරණ කොමසාරිසතුමාට ආරාධනා කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේය.
ඒ මහතා මේ බව පැවසූයේ පසුගිය 28 වනදා සවස අගුනුකොළ පැලැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගිවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
'' මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවට ගියාම අපිට මුල් කාලෙ බැන්නා. දැන් වෙනස්වෙලා. මොකද මිනිස්සුන්ට තේරෙනවා රටේ වෙන හොරකම් නවත්වන්න ඕන කියලා. ඒකට හොඳම කෙනා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලාත් ඔවුන්ට තේරෙනවා. හැමදාම රාජ්‍ය නායකයො දේශපාලඥයො වේදිකාවෙදි හොරු අල්ලනවයි කියලා කිවුවා. 1994දී චන්ද්‍රිකා මැතිණිය කිවුවා යූ. ඇන්. පී. එකේ හොරු ටික ගෝල්ෆේස් එකට ගෙනැල්ලා දඬුවම් කරනවා කියලා. නමුත් එහෙම කළේ නෑ. යූ. ඇන්. පී. එකත් කිවුවා එයාලා බලයට ආවම වැරදි කරපු අයට දඬුවම් දෙනවා කියලා. නමුත් කළේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් කිවුවා යූ. ඇන්.පී. එක රට විනාශ කළා, 2001-2004 කාලයේ කිසිම දෙයක් කළේ නෑ, හොරකම් කළ එක විතරයි කළේ, අපි ආපු ගමන් ඒ අයට දඬුවම් දෙනවා කියලා. ඒත් වුණේ නෑ.
හොරකමට විරුද්ධව ඉතිහාසයෙ පළමුවන වතාවට රාජ්‍ය නායකයෙක් ක්‍රියාත්මක වෙනවා. පළමු වතාවට කොමිසමක් පත්කළා. එතකොට කිවුවා ඔය කොමිසමෙන් කරන්නේ හොරු ටික හංගන එක කියලා. එහෙම වුණේ නෑ. කෝප් වාර්තාවලින් හොයන්න බැරි තොරතුරුත් ඒ කොමිසමෙන් හොයලා දුන්නා. ජනාධිපතිතුමා ඒකෙ වාර්තාව පාර්ලිමේන්තුවට යවන කොට තවත් වාර්තාවක් ආවා බරපතළ මූල්‍ය වංචාව පිළිබඳව වාර්තාව. ඒකෙ ඉන්නෙ පරණ සෙට් එක. ලබන 8 වෙනිදා මේකෙ විවාදෙ තියෙනවා කියලා අහන්න ලැබුණා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමා ඒක ප්‍රචාරය කරන්න දෙන්නෙ නෑ කියලත් කියනවා. මම නම් කියන්නෙ මැතිවරණ කොමසාරිස්තුමණි, අපි ඔබට ආරාධනා කරනවා ඡන්දවලට මොන ප්‍රතිඵලයද කියන එක වැදගත් නෑ. මේ වාර්තාව සියලු මාධ්‍යවලින් සජීවීව විකාශය කරන්න දෙන්න කියලා. එතකොට කවුද හොරු කියන එක හෙළි වෙයි” යැයි පැවසීය.