රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඇතිවී තිබෙන වැටුප් විෂමතාව නිසා සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේය.
මූලික වැටුපට අනුව දීමනා ලබාදීම නවතා දමා තිබෙන බවත්, බදුසහන යටතේ ලබාදුන් වාහන බලපත්‍රය කප්පාදු කිරීම, පොදුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහිමි කිරීම යන කාරණා මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.
වර්ජනය දියත් කිරීම සඳහා පළාත් මට්ටමින් දැනුවත් කිරීම් ආරම්භ කර තිබෙන බවත්, දින 05ක් තුළ මෙම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් වැඩවර්ජනය සිදුකරන බවත් ඔහු අවධාරණය කළේය.
ඇතිවී තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.