පුරාවස්තු ලබාගැනීමේ අරමුණ ඇතිව පොළව කැණීම් කිරීමේ චෝදනාව මත තඹුත්තේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනෙකු තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 දා දක්වා රක්ෂිත බන්දනාගාරගත කරන ලෙස මහේස්ත්රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වීරක්කොඩි ආරච්චිලාගේ රොෂාන් සංජීව,රත්නායක මුදියන්සේලාගේ සාලිය කුමාර රත්නායක,පරණවිතානගේ දමිත් ප්රියශාද් ලියනගේ,වීරපාත මුදියන්සේලාගේ සෙනරත් බංඩාර වීරපාත,දිසානායක මුදියන්සේලාගේ විකුම් හේමප්රිය දිසානායක,දිසානායක ආරච්චිලාගේ ජනක් රුක්ෂාන් යන පුද්ගලයන් හය දෙනාය.
පසුගිය වෙසක් පොහොය දිනට පසුදින රාත්රියේ තඹුත්තේගම කිත්සිරිගම ප්රදේශයේ නිවසක ගෙවත්තේ ළිඳක් හාරන මුවාවෙන් බැකෝ යන්ත්රයක් භාවිතා කරමින් නිදන් හාරන බවට තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී බැකෝ යන්ත්රයක් හා සැකකරුවෙකු පැමිණ සිටි මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය එම ස්ථානාය වටලන අවස්ථාවේදී සැකකරුවන් සතුව පොළොව කැණීම් කිරීමට ලබාගත් කිසිදු අවසර පත්රයක් තිබී නොමැති අතර, කැණීම් කළ ස්ථානයේ බිත්තරයක් ආකාරයට මතුව තිබූ කළුගලක් කැඩීමට උත්සාහ දරමින් සිටින අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් තඹුත්තේගම පොලීසියේ නිලධාරීන් කරුණු දැක් වූ අතර, ඔවුන් වෙනුවෙන් නීතිඥ ශ්රීලාල් මහේෂ් තලංගල්ල මහතා කරුණු දැක්වීය.
මෙහිදී මහේස්ත්රාත්වරිය පොලිස් නිලධාරීන්ගේ හා නීතිඥ කරුණු සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන්ට ඉහත නියෝගය ලබා දුන්නේය.
තඹුත්තේගම - නන්දන කුමාර