රටටම විදුලිය කප්පාදුවීමට බලපෑ බවට හඳුනාගෙන තිබෙන බියගම ජාල උපපොළේ පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය වසර 30 ට වඩා පැරණි බවත් හෙළිවී තිබේ.ට්‍රාන්ස්ෆෝමරය සවිකළ සමාගම විසින් අදාළ ට්‍රාන්ස්ෆෝමරය පැරණිවීම නිසා යාවත්කාලීන කළයුතු බවට හෝ එය වෙනුවට නව ට්‍රාන්ස්ෆෝමරයක් සවි කළ යුතු බවට ලිඛිතව දන්වා වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තාවේ.
අදාළ ට්‍රාන්ස්ෆෝමරය යාවත්කාලීන නොකර එය දිගින්දිගටම භාවිතයට ගැනීම නිසා ට්‍රාන්ස්ෆෝමරය මෙලෙස පිපිරීමට ලක්ව ඇති බව ද හෙළිවී තිබේ.
පසුගිය 13 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය සහ මේ වනවිට ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් අතුරු වාර්තාවක් විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා විසින් සකස් කර ඇති අතර අදාළ වාර්තාව විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ඊයේ (16දා) බාරදී ඇති අතර අමාත්‍යවරයා විසින් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී තිබේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය බිඳවැටීමකදී කෙටි කාලයකින් නැවත ජනනය කිරීම් ඇරඹිය හැකි සේ විකල්ප නවීන තාක්ෂණික ක්‍රම වහාම හඳුන්වාදීමටත්, බියගම ජාල උපපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ වාර්තාවේ සඳහන්ය.
මින් ඉදිරියට විදුලිබල මණ්ඩලයේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් නොව, දක්ෂතාව පිළිබඳවද සැලකිල්ලට ගනිමින් පත්කළ යුතු බවද කමිටු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු අද (17දා) වනවිට යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ හේතුවෙන් අද විදුලි කප්පාදු කිරීම අවශ්‍ය නොවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවල නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ගැටලු මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව ලබන සඳුදා (21දා) කමිටු වාර්තා ලැබීමට නියමිත බවත්, ඒ අනුව එම වාර්තා සහ තමා ලබාගත් තොරතුරු සමාලෝචනය කර, ලබන අඟහරුවාදා (22දා) වනවිට මෙම තත්ත්වයට අදාළ කෙටිකාලීන විසඳුම් පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බාරදීමට කටයුතු කරන බවත් රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.
මේ අතර අදාළ විදුලි බිඳවැටීම පිටුපස යම් කුමන්ත්රණකාරී කටයුත්තක් සිදුව ඇතැයි මතු වී තිබෙන සැකය මත විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාරවලට සහ ග්‍රිඩ් උපපොළවල් සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබේ. මේ අනුව පැය 24 පුරාම මෙම ස්ථානවලට යුද හමුදාවේ නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ ආරක්ෂාව ලබාදෙන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
චාමර සම්පත්/ඉන්දික හේවාවිතාරණ