(UPDATE) පුද්ගලයන් 118 දෙනෙකු සමග පැහැරගනු ලැබූ ලිබියාවට අයත් මගී ගුවන් යානය හා එහි සිටි සියලු දෙනා මුදාගැනීමට හැකිවූ බව විදෙස් වාර්තා පවසයි.
ලිබියාවේ හිටපු ජනපති මුවම්මර් ගඩාෆිගේ හිතවාදීන් දෙදෙනෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව පසුව අනාවරණය වූ අතර, ඔවුන් මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබේ.
මින් එක් සැකකරුවෙකු නැවතත් ලිබියාව තුළ ගඩාෆි හිතවාදී දේශපාලනයක් පිළිබඳ ඉල්ලීමක් මෙම පැහැරගැනීම තුළින් බලාපොරොත්තු වී ඇති අතර, අනෙක් සැකකරු මෝල්ටාවේ දේශපාලන රැකවරණය ඉල්ලා ඇති බවටද තොරතුරු පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ පිළිබඳ පරීක්ෂන තවදුරටත් සිදුවන බව මෝල්ටා ආරක්ෂක අංශ පවසයි.
පුද්ගලයන් 118 දෙනෙකු සමග ලිබියාවට අයත් මගී ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්ව ඇති අතර, යානය පැහැරගත් පුද්ගලයන් විසින් එය පුපුරුවා හරින බවට තර්ජනය කරමින් සිටියි.
ලිබියාවේ, ඇෆ්රිකියාහ් ගුවන් සේවයට අයත් එයාර්බස් ඒ320 වර්ගයේ ගුවන් යානයක් මෙසේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් මෝල්ටාව වෙත ගොඩබස්වා ඇති අතර, යානය පැහැරගැනීමට ලක්ව ඇති බව මෝල්ටා අග්‍රාමාත්‍යවරයාද තහවුරු කර ඇතැයි විදේස් වාර්තා පෙන්වා දෙයි.
ලිබියාවේ සභාහ් සිට ට්‍රිපෝලි දක්වා පැමිණෙමින් සිටි යානය එම ගුවන් තොටුපොළද පසුකර මෝල්ටාවේ මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රැගෙන ඒමට යානය පැහරගත්තවුන් කටයුතු කර තිබේ.
අග්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් වැඩිදුරටත් පවසා ඇත්තේ ගුවන් තොටුපොළ වෙත දැනටමත් ආරක්ෂක අංශ යොමුකර ඇති අතර, ඔවුන් යානයේ සිටින මගීන් නිරුපද්‍රිතව බේරාගැනීමේ සූදානමින් පසුවන බවයි. කෙසේ වෙතත්, මේ වනවිට ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, ඒ වෙත පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යවන බවද කියැවෙයි.
යානයේ මගීන් 111 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටින බවත්, මගීන් අතරින් 88 දෙනෙකු පිරිමින් වන අතර, 22 දෙනෙකු ගැහැණු බවද හඳුනාගෙන ඇති අතර, කුඩා බිළිඳෙකුද යානයේ සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, යානය පැහැරගැනීමට හේතුව හෝ පැහැරගත්තවුන් කවරක් ඉල්ලා සිටින බවද මෙතෙක් පැහැදිලි නැති බවද විදෙස් වාර්තා පවසයි.
එනමුදු, මෝල්ටා ගුවන් තොටුපොළ වෙත එරට විශේෂ බලකාය හා සහන කණ්ඩායම් පැමිණ සූදානමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.