සීමා නිර්ණය ගැසට් කිරීමෙන් පමණක් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, තවත් ගැසට් නිවේදන දෙකක් මැතිවරණය පැවැත්වීමට නිකුත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් එක් ගැසට් නිවේදනයක අදාළ පළාත් පාලන ආයතනවලට තෝරා ගන්නා සභිකයන් ප්‍රමාණය කොතරම්ද යන්න නිවේදනය කළයුතු බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මීට අමතරව 2016 අංක 1 පනතට අනුව පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් කර තිබෙන බවත්, ඒ පිළිබඳවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළයුතු බවද පවසා සිටියේය.
මෙම ගැසට් නිවේදන දෙකට අමතරව පනතේ පවතින තාක්ෂණික ගැටලු කිහිපයකටත් සංශෝධන අවශ්‍ය බැවින් එය පාර්ලිමේන්තුව විසින් සිදු කළයුතු බවද සභාපතිවරයා කියා සිටියේය.
එසේ නොමැතිව සීමා නිර්ණයන් ගැසට් කළ පමණින් මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, මෙම ගැසට් නිවේදන දෙකවත් අඩුම තරමින් කඩිනමින් ප්‍රකාශයට පත් කළයුතු බවද සඳහන් කළේය.
ගැසට් නිවේදන තුනම ප්‍රකාශයට පත් කළහොත් තාක්ෂණික ගැටලුවලට වෙනත් ක්‍රමයකින් විසඳුම් ලබාගෙන හෝ මැතිවරණය පැවැත්විය හැකි බවද හෙතෙම කියා සිටියේය.