පළාත් පාලන ආයතන මැතිවරණය දිගින් දිගටම කල්දැමීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාවලින් මුදවාගැනීම සඳහා කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ සඳහා නීතිමය ක්රියාමාර්ග ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට සොයබලමින් සිටින බව එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනයක් යනු ජනතාවට සමීපතම සේවා සපයන ආයතනයක් බැවින් ඉක්මනින්ම එම ආයතනවලට මහජන නියෝජිතයන් පත්කර ගත යුතු බව හෙතෙම පැවසීය.
නව ක්රමයට මැතිවරණ පැවැත්විය නොහැක්කේ සීමානිර්ණ ගැටලු නිසා බව ආණ්ඩුව පවසන බවත්, නව ක්රමයේ ගැටලු පවතී නම් පැරණි ක්රමයට මෙවර මැතිවරණය පවත්වා ආයතනවලට මහජන නියෝජිතයන් පත්කර ගැනීමට හැකියාව තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් එවැනි වැඩපිළිවෙළකට නොගොස් මැතිවරණය දිනෙන් දිනම කල්තැබීම සදාචාරශීලී නොවන බවත්, පසුගිය වසරේ මැතිවරණ දෙකක් පැවැති බව සඳහන් කරමින් මැතිවරණය පැවැත්වීම කල්දැමූ බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
එහෙත් මේ වනවිට සීමානිර්ණ ගැටලු ඇති බව සඳහන් කරමින් මැතිවරණය කල්දමන බවත්, සීමානිර්ණ ගැටලු තිබෙනවා නම් එය විසඳාගෙන ඊළඟ මැතිවරණයේදී නව ක්රමයට මැතිවරණය පැවැත්විය හැකි බවත් ඔහු පවසා සිටියේය.
මැතිවරණය පැවැත්වීමට දින තීරණය කර නොමැති වුවත්, ලංකාව පුරා ගම් 25,000 කට අධික ප්රමාණයක පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩසටහන් දියත් කර තිබෙන බවද ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.