එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ නව මහ කොමසාරිස්වරයා ලෙස ජෝර්දානයේ සෙයිඩ් අල් හුසේන් කුමරු අද (01දා) සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.
ඒ එහි මහකොමසාරිස් ලෙස කටයුතු කළ දකුණු අප්රිකානු ජාතික නවනීදන් පිල්ලේ මහත්මියගේ ධුර කාලය අදින් අවසන් වන හෙයිනි.
2008 වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා මානව හිමිකම් මහකොමසාරිස් රාජකාරි කටයුතු ආරම්භ කළ පිල්ලේ මහත්මියගේ ධුර කාලය 2012 වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා තවත් වසර දෙකකින් දීර්ඝ කළේය. එම වසර දෙකක කාලයද අදින් අවසන් වේ.
පසුගිය ජූනි මස 17 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෙයිඩ් අල් හුසේන් නව මානව හිමිකම් මහකොමසාරිස්වරයා ලෙස පත්කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැංකිමූන් මහතා ඔහුගේ නම මහා මණ්ඩලයට නිර්දේශ කළේය.