යහපාලන ක්‍රියාවලිය හා සංවර්ධනය එකවිට කරගෙන යාමේදී ගැටලු මතුව ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ අද (11දා) සෙත්සිරිපාය තෙවන අදියරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
“ගොඩනැගිලි ඉදිකිරීම ගැන කතා කරන කොට සමහර අය හිතන්නේ මේ අසුරු සැණින් කළ හැකි වැඩ කියලා. නමුත් මේ රටේ යහපාලන කි‍්‍රයාවලියත් සමග සංවර්ධන කටයුතු කරගෙන යෑමේදී ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ඉඩම් ලබාගැනීමට ගියහම ඉඩම් පැවරීමේ සිට, අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය ලබාගැනීමට, කැබිනට් අනුමැතිය ලබාගැනීමට, අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගය ලබාගැනීමට යෑමේදී මේ හැම තැනකම විශාල කාලයක් නාස්ති වෙනවා මේ කටයුතු සඳහා. මෙය ඉතාම කණගාටු දායක තත්වයක්.
අපි යහපාලනයෙන් බලාපොරොත්තු උනේ පිරිසිදු පාලනයක් සමගම කාර්යක්ෂම පාලනයක්. මේ පිරිසිදු බව ඇති කර ගන්න ගියහම කාර්යක්ෂමතාවයට හානි සිදුවී තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් ගත්තහම ඔවුනට මේ පිරිසිදු ස්වාධීනත්වය වගේම කාර්යක්ෂමතාවයත් ඉතා අවශ්‍යයි.”