දංකොටුව ගෝනවිල ප්‍රදේශයේ පදිංචි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි සිසුවා සමග එකතුවී සිසුවාගේ පියාට දුරකථන ඇමතුමක්දී රුපියල් කෝටි 8 ක කප්පමක් ඉල්ලූ 19 හැවිරිදි මිතුරන් දෙදෙනාව හෙට (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා විනිසුරු පසන් අමරසේන මහතා අද (15දා) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ, මෝරුක්කුලිය ප්‍රදේශයේ පදිංචි මල්ලිකාඅරච්චිගේ ෂෙහාන් චාමර (අවු.19) හා දංකොටුව මැදිකැලේ පදිංචි ලියනගේ ෂෙනාල් තාරුක (අවු.19) නැමත්තන්ය.
ඉකුත් 13 සවස තමන්ව වෑන් රථයකින් පැමිණී පිරිසක් පැහැරගෙන ගිය බවත් තමන්ව මුදාහැරීමට රුපියල් කෝටි 8 ක මුදලක් ඉල්ලන බව පාසල් සිසුවා විසින් ඔහුගේ පියාට දෙන ලද දුරකථන ඇමතුමක් පිළිබඳව පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව විමර්ශනය කළ දංකොටුව පොලීසියේ නිලධාරීන් පාසල් සිසුවාව දංකොටුවේ අත්හැර දමන ලද තෙල් මෝලක සිටියදි ඊයේ (14දා) සොයාගෙන තිබිණ.
මෙම කප්පම් ඉල්ලීම පාසල් සිසුවා හා ඔහු සමග සිටි මිතුරන් දෙදෙනෙකුගේ සැලසුමක් බවට තොරතුරු හෙළිවීම නිසා මිතුරන් දෙදෙනාව ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලබාදී තිබු පරස්පර ප්‍රකාශ හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්රවලට මුහුණ දීම සඳහා සැකකාර සිසුවාව මුදාහළ බවත් මිතුරන් දෙදෙනාව මාරවිල අධිකරණයට ඉදිරිපත් කළ බව පරීක්ෂණ සිදු කරන නිලධාරියෙක් පැවසීය.
එම විභාගයෙන් අනතුරුව පාසල් සිසුවාවද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බවත් මෙය තිදෙනාගෙම සැලසුමක් අනුව කළ දෙයක් බවට සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.
චන්දන ප්‍රනාන්දු