පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලින් පෙරහරවල් ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා ලබාදීමට හැකියාව ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (24දා) දැනුම් දුන්නේය.
හෙතෙම මේ බව අධිකරණයට දැනුම් දුන්නේ, කෑලෑවලින් හොර රහසේ අල්ලාගෙන විත් ව්‍යාජ ලේඛන මත අලි පැටවුන් තබාගෙන සිටින බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
වනජීවී දෙපාර්තමේන්තුවට බැඳී ඇත්ගොව්වන් ලෙස සේවය කිරීමට පුහුණුව ලබා සිටින කාන්තාවන්ගේ සේවය ඒ සඳහා ලබාගැනීමට හැකි බවත්, මේ වනවිට කාන්තාවන් කිහිපදෙනෙකුම ඇත්ගොව්වන් ලෙස සේවය කරන බවත් නීතිඥවරයා අධිකරණයට දැන්ම් දුන්නේය.
කැලෑවලින් හොර රහසේ අල්ලාගෙන විත් ව්‍යාජ ලේඛන මත තබාගෙන සිටින අලි පැටවුන් පෙරහරවල් ඇතුළු ආගමික කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ ලබාදෙන ලෙස මහානායක හිමිවරුන් සහ අධිකරණ අමාත්‍යාංශය වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කොට ඇතැයිද දැනුම් දුන් දිලීප පීරිස් මහතා, අධිකරණ නියෝග මත පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි පැටවුන් එලෙස ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයිද දැනුම් දුන්නේය.
අධිකරණ නියෝග මත එලෙස රඳවා සිටින අලි පැටවුන් පෙරහරවල්වලට දීම වෙනුවට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි, වනජීවී නිලධාරීන්ද සමග එම කටයුත්තට යෙදවීමට හැකි බවද නීතිඥවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.