බැඳුම්කර සිද්ධිය යටගැසීම සඳහා බැඳුම්කර වාර්තාවේ පිටු අඩු බව සඳහන් කරමින් ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව තුළ වීරයන් බවට පත්වීමට උත්සාහ ගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
බැඳුම්කර වාර්තාවේ පිටු ප්‍රමාණය අඩුවී නොමැති බවත්, එහෙත් එම වාර්තාවේ ඇමුණුම් කිහිපයක් පාර්ලිමේන්තුවට ලබාදී නොමැති බවත් එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
අධිකරණ කටයුතුවලදී අවශ්‍ය වන ඇමුණුම් ප්‍රමාණයක් මෙලෙස ඉදිරිපත් කර නොමැති බවත්, කුමන දේ කවුරු සිදුකළද බැඳුම්කර වංචාකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
2008 වසරේ සිට බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බලන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීම නිසා පසුගිය ආණ්ඩු සමයේ සිටි මහබැංකු අධිපතිවරයාද කලබලව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.