"අපි හදපු ආණ්ඩුවෙත් හොරු, පාතාලේට සම්බන්ධ අය හා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය ඉන්නවා. අපි ඔවුන්ට මේ යහපාලන ගමන වළක්වන්න ඉඩ තියන්නේ නෑ. ඔවුන් එළියට ඇදලා දමා හරි අපි ඉදිරි ගමන යනවා" යැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
මාතලේ ගොංගාවල ප්‍රදේශයේදී ඊයේ (22දා) පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. එකමුතු ප්රගතිශීලි සංධානය යටතේ මාතලේ මහ නගර සභාවට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මෙම රැලිය සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි එක්සත් ජාතික පක්ෂයට, සන්ධානයට ඇතුළු අනෙක් සියලු පක්ෂවලට සහජීවනය පිළිබඳ ටියුෂන් දෙන්න ලෑස්තියි. අපිත් සමග සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලු අපේක්ෂකයන් සහජීවනයෙන් වැඩ කරන්නේ. අපේ පක්ෂය ත්‍රීවීල් පක්ෂයක් නෙවෙයි කන්ටේනර් පක්ෂයක්. අපේ ජනතාවට වැඩ කරන්න අපිට ඕන.
මේ ආණ්ඩුවේ අයිතිවාසිකම් අපි කාටත් තියනවා. 2015 දී සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මාතලේ කොළඹ යාපනේ අපි සියලුදෙනා එකතුවෙලා තමයි මහින්ද මහත්තයා ගෙදර යැවුවේ. කවුරුහරි කියනවානම් මේක යූ.එන්.පී ආණ්ඩුවක් ශ්‍රීලංකා ආණ්ඩුවක් කියලා ඒක මහ මෝඩ කතාවක්. අපි සියලු දෙනා එකතු වෙලා හදපු ආණ්ඩුව තමයි මේ.
මම පැරෂුට් මන්ත්‍රී කෙනෙකු හෝ ඇමති කෙනෙකු නෙවෙයි. සමහර පැරෂුට් ඇමතිලා මේ ආණ්ඩුව වට්ටන්න කටයුතු කරනවා. අපි ඒකට ඉඩ තියන්නේ නෑ. සමහරු මාව ගෙදරට කොටුකරලා මව බය කරලා මේ ඡන්ද ව්‍යපාරය ගෙනියන්න හදනවා. ඒවට මම එදත් අදත් බය මිනිහෙක් නෙවෙයි. ජනතාව අපි සමග බය නැතිව එකතුවෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණය ස්ථිරයි" යැයිද පවසා සිටියේය.
(මාතලේ රවීන්ද්‍ර විරාජ් අබයසිරි)