කොළඹ මුල් කරගෙන ඉදිකිරීමට යෝජනා වූ මිශ්‍ර ව්‍යාපෘති සඳහා කැසිනෝ බලපත්‍ර අලුතින් නොදෙන බවට ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළද කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (08දා) කළ අදහස් දැක්වීම අනුව අදාල හෝටල් සංකීර්ණවල කැසිනෝ පවත්වාගෙන යාහැකි බවට සැක මතුවිය.
ව්‍යාපාරිකයන් වන රවි විජේරත්න මහතාට සහ ධම්මික පෙරේරා මහතා සතුව කැසිනෝ බලපත්‍ර 5 ක් ඇති බවත් අවශ්‍ය නම් ව්‍යාපෘතියක පාර්ශවකරුවන් ලෙස ඔවුන්ට කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අනුව, කොළඹ මුල් කරගෙන ඉදිකිරීමට යෝජනා වූ මිශ්‍ර ව්‍යාපෘති අරඹන එක් අයෙකු වන ධම්මික පෙරේරා මහතාට දැනටමත් කැසිනෝ බලපත්‍ර ඇති අතර අවශ්‍ය නම් ඔහු සතු කැසිනෝ බලපත්‍රය අලුත් ව්‍යාපෘතියේ දී පාවිච්චි කළ හැකිය.
එමෙන්ම රවි විජේරත්න මහතා ජේම්ස් පැකර් මහතාට අයත් ක්‍රවුන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික පාර්ශ්වකරු වෙයි. මේ නිසා අවශ්‍ය නම් රවි විජේරත්න මහතාගේ කැසිනෝ බලපත්‍ර මත පැකර් ගේ අලුත් හෝටල් ව්‍යාපෘතියේ කැසිනෝ පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙන බව පැහැදිලි වෙයි.
මෙහිදී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය
"ලංකාවේ නීති පද්ධතිය අනුව කෙනෙකුගේ ව්‍යාපාරයකට පාර්ශ්වකරුවෙක් සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තියෙනවා. පැකර් කියන නම කාටහරි ප්‍රශ්ණයක් නම් අපි එයට ස්මිත් කියමු. එතකොට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
මම දන්නේ නෑ ක්‍රවුන් එකේ කැසිනෝ තියෙනවද කියලා. මම කියන්නේ ඕනම කෙනෙකුට පාර්ශ්ව කරුවෙක් වෙන්න පුළුවන්. දැනට කැසිනෝ බලපත්‍ර 5ක් නිකුත් කර තියෙනවා. මේ එක් බලපත්‍රයකට කැසිනෝ එක බැගින් පවත්වාගෙනයා හැකියි. මේකේ මැජික් ප්‍රශ්ණයක් නෑ.
ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කිව්වේ අලුත් කැසිනෝ බලපත්‍ර දෙන්නේ නෑ කියලයි. අලුත් හෝටල්වල කැසිනෝ නෑ කියලා ජනධිපතිතුමා කිව්වේ නෑ. මම ඒක වගකීමෙන් කියනවා. මම එතන හිටියා."
මේ අනුව රජය කිසිදු බලපත්‍රයක් නොදෙන බව පැහැදිලි වුවද මෙම විරෝධයට මුල් වූ අදාල ව්‍යාපෘතියේ කැසිනෝ පවත්වාගෙන යාමේ හැකියාව කිසිලෙසකින් නතර වී නොමැති බවද පැහැදිලි වෙයි. මේ නිසා විපක්ෂය සහ සමාජ සංවිධානය ගෙන ගිය සටන ඉතාම සූක්ෂම අයුරින් රජය විසින් පරාද කර තර්කානුකූලව මේ සටන ජයගෙන ඇති බව පැහැදිලි වෙයි.