බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් හමු වූ ඇටසැකිල්ල අදින් වසර 10,000ට පෙර මියගිය වයස අවුරුදු 18-22ත් අතර වයසේ පසුවූ තරුණියකගේ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.
මේ ඇට සැකිල්ල මෙතෙක් දකුණු ආසියාවෙන් හමුවූ වැඩිම උසකින් හා කෙසඟ සිරුරකින් යුතු ඇටසැකිල්ල බව ද ඔවුහු කියති. දකුණු ආසියාවෙන් මෙතෙක් සොයාගත් ප්රාග් ඓතිහාසික මානවයන් වැඩි ප්‍රමාණයක් වත්මන් මිනිසුන්ට වඩා උසින් අඩු බවත් තරමක් තරබාරු බවත් පර්යේෂකයෝ කියති.
පාහියන්ගල ලෙනෙන් පසුගිය 2012 වර්ෂයේ ජුනි මාසයේ මේ ඇට සැකිල්ල මතුකැර ගන්නා ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැණීමකදී ය. වසර 12,000ක් පමණ පැරණි අවශේෂ හමුවන පස් තට්ටුවකින් මේ අස්ථි කොටස් මතුකැර ගන්නා ලදී.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුකරන ලද කාල නිර්ණයෙන් තහවුරු වී ඇත්තේ මේ තරුණිය මියගොස් ඇත්තේ අදින් වසර 10,000ට පෙර බවයි.