දිවයින පුරා පිහිටි ජාතික සහ පළාත් පාසල් බොහොමයක විදුහල්පතිවරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශන කටයුතු අරඹා තිබේ.
මේ වනවිටත් සමහර විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත්, ඉදිරියේදී ඉතිරි පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බවත් අධ්‍යාපන ක්ෂේත්රයෙන් වාර්තා වෙයි.
කොළඹ, මහනුවර, මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක බොහෝමයක පිහිටි ජනප්‍රිය යැයි සැලකෙන පාසල්වල විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් මවුපියන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි හා තොරතුරු ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් රහසිගතව කරුණු සොයා බලා තිබේ.
විදුහල්පතිවරුන්ට නොදැනෙන සේ මෙම තොරතුරු එක්රැස් කර තිබෙන අතර, කරුණු සනාථ වූ අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මූල්‍ය පරිහරණයේදී අක්‍රමිකතා සිදුවීම, නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව ළමයින් පාසලට ඇතුළත් කරගැනීම, විනය විරෝධී අයුරින් හැසිරීම වැනි චෝදනා රාශියකට මෙම විදුහල්පතිවරුන් ලක්වී තිබෙන බවත්, මේ නිසාම සමහර විදුහල්පතිවරුන් චෝදනාවලින් නිදහස් වීම සදහා විවිධ පුද්ගලයන් පසුපස යමින් යම් යම් උත්සාහ ගනිමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ විමර්ශන සිදුකරන පැසල් පිළිබඳව බාහිරට තොරතුරු ගියහොත් විදුහල්පතිවරුන් පරීක්ෂණ මගහැරීම සඳහා උපක්‍රම යෙදිය හැකි බවත්, එවැනි පාසල් මොනවාද යන්න පිළිබඳව දැනට හෙළිදරව් කිරීමෙන් වළකින ලෙසත්ය.
කෙසේ වෙතත් අප මේ පිළිබඳව පළාත් කිහිපයක අධ්‍යාපන අමාත්‍යාංශ ආශ්‍රිතව කළ සොයා බැලීමකදී පැහැදිලි වූයේ විවිධ මට්ටමින් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවයි.
එවැනි විමසීමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්.ජී. විජයබන්දු මහතා සඳහන් කළේ එම පළාත් සභාවට අයත් පාසල් 1288 අතුරින් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රධාන පාසැල් 15 ක විදුහල්පතිවරුන් සම්න්ධයෙන් දැනට විමර්ශන කටයුතු කරගෙන යන බවයි.
ඊට අමතරව චෝදනාවට ලක්වන පාසල් කෙරෙහි නිලධාරීන් නිරන්තරව සොයාබැලීම් කරන බවත්, පසුගිය මාස කිහිපයේදී විදුහල්පතිවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවත් ලේකම්වරයා සඳහන් කළේය.