දරුවන්ට පාසල් නොමැති ප්රශ්නය වෛද්‍යවරුන්ගේ දරුවන්ට පමණක් නොව රටේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් බවත් බොහොමයක් දෙමාපියන්ගේ දරුවන් පාසලක් නොමැතිව නැතිව මාස 7 පමණ ගෙවල්වලට වී සිටිනා බව ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද(16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. අලූත් ආණ්ඩුවටත්, පරණ ආණ්ඩුව මෙන්ම රටේ ආර්ථිකය ගොඩනැගීමට නොහැකි බව පසුගිය අවුරුද්ද තුළ ඔප්පු කර පෙන්නූ බව පවසමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය,
දරුවන්ට පාසල් නොමැති ප්රශ්නය තියෙන්නේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පමණක් නොවෙයි. අපේ රටේ බොහෝ දෙනෙක්ගේ දරුවන් යන්න පාසලක් නැතිව මාස 6-7 ගෙවල්වලට වෙලා ඉන්නවා. සාමාන්‍ය ජනතාවගේ දරුවන් යන්න පාසලක් නැතිව ගෙවල්වල සිටිද්දී අක්‍රමවත් ක්‍රම මගින් ඕනෑ තරම් දරුවන් පාසල්වලට ඇතුළත් කරනවා. ඇමතිවරයාගේ දේශපාලන මැදිහත් වීම මත නිලධාරීන්ගේ මැදිහත් වීම මත අයථා ආකාරයෙන් ළමුන් පාසල්වලට ඇතුළත් කරනවා. ඒනිසා සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම තමයි ආණ්ඩුව කළ යුත්තේ.
සංඛ්‍යා ලේඛනවලට අනුව ආණ්ඩුව උපයන බදු ආදායමෙන් වැට් බද්ද පමණක් 25%ක ප්‍රතිශතයක් අය කර ගන්නවා. 2010දී ආණ්ඩුවේ බදු ආදායම වූ රුපියල් මිලියන 647,500න් රුපියල් මිලියන 171,510 ක් එනම් 26.48%ක්ම වැට් බද්දයි. 2013දී එම වැට් බදු ප්‍රතිශතය 24.05%ක්ද 2014දී 24.8%ක්ද වී තිබෙනවා. වැට් බද්ද ලෙස සාමාන්‍ය ජනතාව මත අය කරන බද්ද තමයි මේ විදියට වැඩි කරමින් තිබෙන්නේ. එය රටක බදු ප්‍රතිපත්තියට පටහැනි දෙයක්.
මෙම වැට් බදු පනත ගෙනාපු ආකාරය වැරදි සහගතයි. නමුත් ජනතාව බදු ගෙවා තිබෙනවා. එම බදුවලට අනුව චැනල් සර්විස්වල ගාස්තු 25%කින් විතර වැඩි කර තිබෙනවා. නීති විරෝධී නිසා බදු අය කිරීම නතර කර දැමුවාට සෞඛ්‍ය සේවා ඇතුළු භාණ්ඩ හා සේවාවලට බදු ගෙවපු ජනතාවට ආපසු එම මුදල ලබා ගැනීමට ක්‍රමවේදයක් නැහැ. ජනතාවට අයිතියක් තිබෙනවා එම මුදල් ආපසු ලබා ගන්න. ඒ සඳහා ආණ්ඩුව යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.