දේශීය පාසල් ක්‍රිකට් තරග තුළදී විනය විරෝධීව හැසිරීම හේතුවෙන් 19 න් පහළ ලෝක කුසලාන සංචිතය නියෝජනය කළ එහි නායක චරිත් අසලංක (රිච්මන්ඩ්), වනිඳු හසරංග (රිච්මන්ඩ්) හා අවිශ්ක ප්‍රනාන්දු (ශාන්ත සෙබස්තියන්) යන ක්‍රීඩකයන් තිදෙනාට පාසල් ක්‍රිකට් සංගමය විසින් තරග තහනම් පනවා තිබේ.
ඒ අනුව චරිත් අසලංකට තරග 2 කුත්, වනිඳු හසරංගට තරග 3කුත්, අවිශ්ක ප්‍රනාන්දුට තරග 05 කුත් තහනම් කිරීමට කටයුතු කර තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පවසා සිටියේ, ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති අනුව පාසල් ක්‍රීඩකයෙකු විනය විරෝධීව හැසිරුණේ නම් ඔවුන්ට ලබාදිය හැකි ලිහිල්ම දඬුවම මෙම ක්‍රීඩකයන්ට ලබාදුන් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් ක්‍රිකට් ලේකම්වරයා, “අපේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගවලදී ඒ ක්‍රීඩකයන් විනය විරෝධීව හැසිරීම, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 3.3 හා 3.4 යන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව තරග තීරක හා විනිසුරුවන්ගේ වාර්තා සැලකිල්ලට ගෙන අපි තීරණය කළා ඔවුන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිජීවය හානිවන අන්දමට කටයුතු කර තිබෙන බව. මේ විදිහට ගියොත් අපට විනය සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ව පාලනය කිරීමට නොහැකි වෙනවා.
ඒ අනුව අපි තීරණය කළා අයි.සී.සී. නීති අනුව කටයුතු කිරීමට. එහිදී අපි ලබා දුන්නේ ඉතා ලිහිල්ම දඬුවමක්. චරිත් අසලංකට තරග 2 කුත්, වනිඳු හසරංගට තරග 3කුත්, අවිශ්ක ප්‍රනාන්දුට තරග 5 කුත් ඒ අනුව අපි තරග තහනමකට ලක්කළා. අපි අනිවාර්යයෙන්ම ඕනෑම ක්‍රීඩකයෙකු විනය විරෝධීව හැසිරුණහොත් අයි.සී.සී. නීතිරීති අනුව කටයුතු කරනවා. ඕනෑම ක්‍රීඩාවක් පාලනය විය යුතුයි. අපිට නීතිරීති මාලාවක් තියෙනවා. පාසල් ක්‍රීඩකයන්ට සංස්කෘතියක් තියෙනවා. අපේ විනය කමිටුවත් තරග කමිටුවත් ලිඛිතව හා වාචිකව කරපු පරීක්ෂණ මගින් තමයි ඔවුන්ට දඬුවම් ලබාදී ඇත්තේ" යැයි පැවසීය.