පළාත් සභා සතු පාසලක සිටිය හැකි මුරකරුවන් ප්‍රමාණය එක් අයෙකු ලෙස චක්‍රලේඛ මගින් පෙන්වා දී තිබෙන නිසා පළාත් සභා යටතේ පාලනය වන පාසල් 8900කට ආසන්න ප්‍රමාණයක් දැඩි අනාරක්ෂිතභාවයකට පත්ව ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.
කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අනුව මුරකරුවෙකු යෙදවිය හැකිවන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 ට වැඩියෙන් සිටින පාසල්වලට පමණක් වන අතර, මේ නිසා දරුවන් 50 ට අඩු පාසල්වලට කිසිදු මුරකරුවෙකු නොමැති වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
සේවයට යොදන මුරකරු සතියේ සෑම දිනකම සවස 6.00 සිට උදෑසන 6.00 දක්වා සේවය කළ යුතු බවත්, දැනට මුරකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් සිටින පාසල්වල සියලු මුරකරුවන් තුලනය කරන ලෙසට එම ගැසට් නිවේදනයෙන් පෙන්වා දී තිබෙන බවත් ඔහු පවසා සිටියේය. නව ක්‍රමයට අනුව මුරකරුවෙකුට නිවාඩුවක් ලබාගැනීමට හෝ නොහැකි බවත්, මීට අමතරව දහවල් කාලයේදී පාසල සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත වන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
පළාත් සභා පාසල්වලට මෙවැනි කෙනෙහිලිකමක් සිදුකළද, ජාතික පාසල්වලට මුරකරුවන් යෙදවීමේදී පාසලේ සම්පත් ප්‍රමාණය, විශාලත්වය ආදිය සැලකිල්ලට ගෙන මුරකරුවන් යොදවා සිටින බවත්, එහෙත් පළාත් සභා පාසල්වලට මුරකරුවන් යෙදවීමේදී මේ කිසිදු නිර්ණායකයක් සැලකිල්ලට ගෙන නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.