පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමුකිරීමේදී පිළිතුරු දීමට හෝ පිළිතුරු දීමෙන් වැළකී සිටීමට හැකි බවත්, කෙසේ වෙතත් ප්රශ්නය අසන මන්ත්‍රීවරයාගේ කැමැත්තට අනුව පිළිතුරු දිය යුතු බවට නීතියක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව යාකරන පාලමක් ඉදිකරන බවට සාකච්ඡා කළ බව ඉන්දියානු මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා ඉන්දියානු ලෝක් සභාවට දැනුම්දීමක් සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා මෙහිදී විමසීය.
ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවකට තමන් එක්නොවූ බවත්, එලෙස ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඉන්දීය ලෝක් සභාවේ හැන්සාඩ් වාර්තාව පරීක්ෂා කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවේ ඒ පිළිබඳ ඉන්දීය ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් සියල්ල වාර්තා කර ඇති බවයි.
එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ පුවත්පත් වාර්තාවලට වඩා හැන්සාඩ් වාර්තාව පිළිගත හැකි බැවින් එය පරීක්ෂා කරන ලෙසත්, එය හින්දි භාෂාවෙන් ඇති බැවින් එය සිංහලයට පරිවර්තනය කර ප්‍රකාශ කරන ලෙසත් ගම්මන්පිල මන්ත්‍රීවරයාට අගමැතිවරයා පැවසීය.