ජනතාව අපේක්ෂාකරන නව දේශපාලන සුචරිත දැක්ම තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන් ඵලදායී ලෙස ඉටුකිරීමටත්, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීමටත්, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත්කිරීමටත් අදහස් කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. අභිනවයෙන් තේරීපත් වූ කථානායක කරු ජයසූරිය මහතා අද (01දා) අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් මෙසේ පැවසීය.
“මෙම උත්තරීතර තනතුරේ තිබෙන ස්වාධීනත්වය මෙන්ම අපක්ෂපාතීත්වය වැනි සුවිශේෂී ලක්ෂණ නිරන්තරයෙන් ආරක්ෂාකරමින් ඔබ සැම මෙලෙස මට බාරදුන් මේභාරදූර වගකීම මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අවංකව හා කාර්යක්ෂමව ඉටු කිරීමට මම පොරොන්දු වෙමි. කථානායක ධුරයේ සියලු කටයුතු සාර්ථකව නොපිරිහෙළා ඉටුකිරීමටත්, ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීමටත් ඔබ සෑම සියලු දෙනාගේම උපරිම සහයෝගය සහඅඛණ්ඩ සක්‍රීය දායකත්වය ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.
2015 ජනවාරි මස 08 වැනිදින ආරම්භ වූ නැවුම් දේශපාලන පරිවර්තනය හා විපර්යාසය කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල ජන සමාජයේ දැඩි අවධානයට යොමු වී තිබෙන, දැනට නිර්මාණය වෙමින් පවතින විසංවාදී ආණ්ඩු සංකල්පය වැනි හිතකර ප්රවණතා හමුවේ පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවීමට ලැබීම ඉමහත්භාග්යයක් ලෙස නිහතමානීව පිළිගනිමි. පාර්ලිමේන්තුවේ චිරාත් කලයක සිට පැවත එන සම්ප්‍රදායන්, පරිචයන් සහ ස්ථාවර නියෝගවල විවිධත්වයන්ට අනුකූලව ව්‍යවස්ථාදායකය ශක්තිමත් කරන විවිධ කාරකසභා යාන්ත්‍රණයන් විධිමත් ආකාරයෙන් මෙහෙයවීමට ගරු මන්ත්‍රීවරුන් ලෙස ඔබ සැම සක්‍රීය දායකත්වයක් සැමවිට ලබාදෙනු ඇතැයි විශ්වාස කරමි.
විවිධ වූ දේශපාලන විෂමතා හා නොගැළපීම් තාවකාලිකව පසෙකලා අප රටේ දැනට පවතින ජාතික අභියෝගවලට මුහුණදීමට හැකිවන පරිදි විසංවාදී ආණ්ඩු සම්මුතිය තුළජනතාවගේ පරමාධිපත්‍යය සුරකින විවිධත්වයක් තුළ ඒකීයත්වයක් කරා පියවර නංවන නවතාවයෙන් හා යහපැවැත්මෙන් යුතු මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේඅනන්යතාව නිරන්තරයෙන් සුරැකීමට අපි සැම සිතට ගනිමු* යනුවෙන් නව කථානායකවරයා සිය අදහස් දැක්වීය.