යුද්ධාධිකරණ දෙකක සහ කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවලින් වරදකරු කිරීමෙන් අනතුරුව තමාට අහිමි වූ පාර්ලිමේන්තු අසුන යළි තමාට හිමිවන පරිදි කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකාරණයේ පෙත්සමක් ගොනු කළේය.
අධිකරණවලින් තමා වරදකරුවෙකු කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව පූර්ණ සමාව ප්රදානය කර ඇති බැවින්, තමාට අහිමි වූ පාර්ලිමේන්තු අසුන යළි හිමි විය යුතු බවට ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියි.
අදාළ පෙත්සමින් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ, හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක, වත්මන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.
මෙම පෙත්සමෙන් පාර්ලිමේන්තු තමන්ට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.
තවද මෙවැනි වාතාවරණයක් තුළ ජයන්ත කැටගොඩ මහතා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට හේතු විමසා ඔහු එම ධුරයේ කටයුතු කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශයට පත්කරන නියෝගයක් නිකුත් කරන්නැයිද සරත් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.