පාතාල අපරාධකරුවන් හිස එසවීම පිළිබඳ ප්රමුඛ වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ඒ පිළිබඳ එම අංශවල දැඩි අවධානය යොමුවිය යුතු බවත් එසේ නොමැතිනම් ඊට අදාළ තීන්දු තීරණ ගැනීමට ද සූදානම් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය තුළ අධිකරණ ක්ෂේත්රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් නිර්මාණයවීම කිසිසේත් සුදුසු නොවන බවද ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31දා) පෙරවරුවේ එක්වෙමිනි.
නීතියේ ආධිපත්‍ය ශක්තිමත්වීම රටක යහපත් සහ ගුණවත් සමාජයක් ගොඩනැගීමට ප්රමුඛ පදනම වන බවත් ජනතාව තමා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමේ අරමුණු අතර පමුඛ වූයේ රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, නිදහස් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් සහ දූෂණයෙන් තොර සමාජයක් ගොඩනැගීම බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
රට තුළ තහවුරු වූ නිදහස සහ ප්රජාතන්ත්රවාදය සීමාවෙන් එහා ගොස් භුක්තිවිදීමට ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙන් සාදාචාරවත් සමාජයකට නොගැලපෙන බොහෝ කි‍්‍රයාකාරකම් අත්විදීමට සිදුව තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පරිගණක සහ ජංගම දුරකතන අපරාධ පිළිබඳ අද දැක්වෙන වාර්තා ඉතාමත් කණගාටුදායක බවත් මෙම බරපතළ තත්ත්වය පිළිබඳව අදාළ සෑම අංශයක් විසින්ම තීන්දු තීරණ ගැනීමේ වැදගත්කමත් පැවැසීය.