ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2016 වසරේ පාඩුව මිලියන 2200 යි! ලෙස ඊයේ (14දා) අද පුවත්පතේ පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ.
ඒ අනුව වර්තමාන හවුල් රජය පිහිටුවීමෙන් අනතුරුව ගුවන් සමාගමේ අලාභය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි වී ඇතැයි පවසන එම සමාගම 2011 සහ 2015 වසරවලදී එම පාඩුව රුපියල් බිලියන 91.8 දක්වා අඩු කිරීමට හැකි වී ඇතැයි සඳහන් කරයි.
එම නිවේදනයේ සඳහන් වන ආකාරයට 2015 වසරේදී සිදුවුණු ලෝක තෙල් මිලෙහි අවප්‍රමාණය වීම හරහා ගුවන් ටිකට් පත්වල මිලෙහි යම් පහත වැටීමක් පෙන්නුම් කළද තෙල් මිල යළිත් ඉහළ නැගි අවස්ථාවේදී එය යළි අයකර ගැනීමට හැකියාව ලැබී නැත.
මේ බලපෑමද සමගින්, නව ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීම සඳහා යන වියදම්, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සහ තවත් මුදල් ඒකකයන්හි අවප්රමාණයවීම 2016 වසරේ ශේෂපත්රයේ අගය පහත වැටීම සඳහා හේතු වුණු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
එසේම පැවැති රජය විසින් ඉහළ කල්බදු පදනම මත ලබා ගත් ගුවන් යානා වෙනුවෙන් තවදුරටත් අධික මුදලක් ගෙවීමටට ශ්‍රී ලංකා ගුවන් සමාගමට සිදුව ඇතැයි ඔවුන් සඳහන් කරයි. එසේම A350-900 මාදිලියේ ගුවන් යානා හතරක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම අත්හිටුවීම නිසාද අධික වියදමක් දැරීමට සිදු ව තිබේ. එය ජාතික ගුවන් සේවය ලෙස දැරිය නොහැකි අවස්ථාවක් වූ අතර, එය සමාගම තවදුරටත් ණය බරතාවයට පත් කරන්නක් වූ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් මේ වනවිට සමාගම සිය ආදායම ආරක්ෂා කරගැනීම සදහා නවීන ක්‍රමවේද රැසක් අනුගමනය කරමින් සිටින බවත්, කලාපීය ගුවන් සේවා ව්‍යාප්ත කිරීම එහි එක් අවස්ථාවක් බවත් සමාගම පවසයි. ඒ අනුව ඉන්දියාවේ නව ගමනාන්ත තුනක්, හොංකොං සහ බැංකොක් වෙත ඍජු ගුවන් ගමන් මෙන්ම දිගු කාලයක් පුරා බලා සිටි ඔස්ට්‍රේලියාව වෙත ඍජු ගුවන් ගමන් සේවාවද ඉදිරි මාස කිහිපයේදී සැලසුම් කර ඇතැයි එම සමාගම සිය නිවේදනයේ වැඩි දුරටත් පවසා සිටියි.