නවීන ප්‍රහාරාත්මක ගුවන් යානා සහ ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි නාවික යාත්‍රා මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේ අරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ ඊයේ (07දා) අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කීය.නවීන තාක්ෂණයෙන් යුත් හමුදාවක් තැනීමට කටයුතු කරන අතර, එම හමුදාව පිළිබඳ විවේචන නොකරන ලෙසද අගමැතිවරයා ඉල්ලා සිටියේය.
හමුදා බුද්ධි අංශයේ සේවය කරන නිලධාරීන් දක්ෂ නිලධාරීන් බවත්, එසේ වුවද ඔවුන් විටින් විට වෙනස් කිරීමට සිදුවන බවත් අගමැතිවරයා කීවේය. බුද්ධි අංශය නිර්දේශපාලනීකරණය කර ඇති අතර, නව බුද්ධි අංශ නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා ගත් තීරණය නිවැරදි බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
යුද කාලසීමාව තුළ හමුදාවේ සියලුම නිලධාරීන් ඉතා හොඳ සේවාවක් සිදුකළ අතර, ඔවුන්ට විශ්‍රාම යෑමට නොදී සේවා දිගු ලබාදුන්නේ නම් ඔවුන් යටතේ සේවය කළ නිලධාරීන්ට විශ්‍රාම යනතුරු උසස් වීම් නොලැබෙන බවද අගමැතීවරයා කීය.එබැවින් වයස් සීමාව අනුව විශ්‍රාම යෑමට ඉඩ සැලසූ අතර, ඒ අනුව නිලධාරීන්ට උසස් වීම් ලබාදීමට කටයුතු කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.