පොලීසිය විසින් සීල් තබන ලද ගෑස් ලිප් තොගයක් හොර පාරෙන් එළියට ගැනීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්රසන්න රණතුංග මහතා විසින් මැතිවරණ කොමිසම් සභාවට අද (23දා) පැමිණිලි කර තිබේ.
වහාම මේ පිළිබඳව සොයාබලා ගෑස්ලිප් බෙදාහැරීමේ කටයුතු නතර කරන ලෙසද සිය පැමිණිල්ල මගින් මන්ත්රීවරයා ඉල්ලා ඇත.
මිනුවන්ගොඩ ප්රදේශයේ ගබඩා කර තිබෙන ගෑස්ලිප් තොගයක් මැතිවරණය ඉලක්ක කරමින් බෙදාදීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් ඊයේ (22දා) දිනයේදී එම ගබඩාව පරීක්ෂා කර තිබූ බවත්, මෙම ගෑස්ලිප් ව්යාපාරික උවමනාවක් සඳහා ගෙන එන ලද බවට එහි සිටි පුද්ගලයන්ට පවසා තිබෙන බවත් රණතුංග මහතා පවසයි.
පොලිස් නිලධාරින් පිටවී ගිය පසුව ගෑස්ලිප්වලින් කොටසක් බෙදා තිබෙන බවද හෙතෙම ප්රකාශ කරයි.