ඉදිරි වසර හතර ඇතුළතදී ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් නොකළහොත් ආර්ථිකය කඩාවැටෙනු ඇතැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (20දා) පැවසීය.
මහාමාර්ග ඉදිකිරීම සඳහා මුදල් වෙන්කර තිබුණද මාර්ග තදබදය විසඳීමට අවධානයක් යොමුව නැති බවත්, ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ජාතික භෞතික සැලැස්මක් සකස්කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය දශකය තුළ ලංකාව රුපියල් ට්‍රිලියන 2 ½ක් පමණ රාජ්‍ය ආයෝජන සිදුකර තිබෙන බවත්, එම රාජ්‍ය ආයෝජනවලින් සියයට 43ක් අධිවේගී මාර්ග සහ සාමාන්‍ය මාර්ග ඉදිකිරීමට බවත් පැවසූ ඒ මහතා, මේ වසරේදී රාජ්‍ය අයවැයෙන් සියයට 45ක් පමණ මාර්ග ඉදිකිරීම සඳහා වෙන්කර තිබෙන බව පවසා සිටියේය.
මාර්ගවලට මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙනකළද මාර්ග තදබදය එන්න එන්නම වර්ධනය වී තිබෙන බවත්, අද වනවිට සමාජ ප්‍රශ්නයකින් ඔබ්බට ගොස් ආර්ථික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම යාවත්කාලීන කිරීමේ වැඩසටහනට එක්වෙමින් රණවක මහතා මේ බව පවසා සිටියේය.