- ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිතිය
ප්‍රවාහන අමාත්‍යවරයා පත් වී මාසයකට අධික කාලයක් ගත් වුවත්, ප්‍රවාහන ක්ෂේත්‍ර‘යේ පවතින ගැටලු ගැන ඇහැක් හැර නොබැලූ බවත්, එහෙත් ඔහු මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමට එරෙහිව විශාල හඬක් නගන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිතිය සඳහන් කරයි.
මාර්ග තදබදය, ඒකාබද්ධ කාලසටහන් නොමැති වීමේ ගැටලු, පෙරගෙවුම් කාඩ්පත නොමැති වීමේ ගැටලු ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රය තුළ මේ වනවිට ගැටලු රාශියක් නිර්මාණය වී තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. මෙතරම් ගැටලු තිබියදී ඇමතිවරයා මත්තල ගුවන්තොටුපල පරීක්ෂා කිරීමට යන බවත්, මීට අමතරව ලංගමයේ යකඩ ගොඩවල් නිරීක්ෂණයට, ලංගමයේ ඉඩම් නිරීක්ෂණයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩකඩ පිළිබඳව සොයා බැලීමට යන බවද ඔහු පවසා සිටියේය. මේවා පිළිබඳව පසුව සොයාබැලිය හැකි බවත්, සිදු කළ යුතු වන්නේ කඩා වැටෙමින් තිබෙන ප්‍රවාහන ක්ෂේත්රය ගොඩනැගීමට අවශ්‍ය කටයුතු කිරීම බවත් කැඳවුම්කරු සඳහන් කළේය.
ඊයේ (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යවරයා තමන්ට පැවරී ඇති කාර්යභාරය කුමක්ද යන්න වටහාගෙන ඒ අනුව වැඩ කටයුතු කළ යුතු බවයි. එසේ නොමැතිව අද දවසේ ඇමතිවරයා පවත්වන මාධ්‍ය සංදර්ශනයෙන් කඩා වැටෙමින් පවතින බස් කර්මාන්තය රැකගැනීමට හැකියාවක් නොමැති බවද කැඳවුම්කරු පවසා සිටියේය.