ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයින් කිහිප දෙනෙක්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුබපැතුම් එක්කර ඇති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහසේ දශක හතක් සපුරන මේ මොහොතේ බ්‍රිතාන්‍ය මහ රැජිණ විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති සම්බන්ධතාවය අද තවදුරටත් ශක්තිමත් වී ඇති බව සඳහන් කරමින් බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිණ සුබ පැතුම් එක්කර ඇති අතර ඉදිරි වසරවලදි දෙරටේ ජනතාව අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද දැඩි විශ්වාසයෙන් පසුවන බවත් ඇය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සංහිඳියාව වගවීම සහ යුක්තිය සපිරි රාජ්‍යයක් බවට පත්වෙමින් සිටින මේ මොහොතේ එළැඹෙන 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් තම සුබ පැතුම් පළකරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම මේ මොහොතේ තම අදිටන බවයි.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සඳහන් කර තිබෙන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සම්ප්‍රදායික මිත්‍රත්වය වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ප්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක වන බවයි.
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සෞභාග්‍ය ද සිය සුබපැතුම් පළ කර තිබේ.
තුර්කි ජනාධිපති රිසෙප් ටේයිස් එර්දෝගන් මහතා ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් තමා නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.