පළාත් සභා රෝහල් රජයට පවරා ගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුණද පළාත් සභා රෝහල් රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
එසේම පිළිකා රෝගීන් සඳහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවක් ඇති නොවූ බවත්, තවත් පිළිකා ඖෂධ වාර්ග 02ක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් අමත්‍යවරයා සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසු පැවැති රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
“පිළිකා රෝගීන් සඳහා එක් ඖෂධයක් රුපියල් දෙලක්ෂ අසූදාහකට වැඩි මුදලකට ආනයනය කර තිබුණා. නමුත් මම රුසියාවෙන් ආනයනය කළ ඖෂධයක් රුපියල් එක්ලක්ෂ හතළිස් හතරදාහකට ලබාගෙන රෝහල්වලට නිකුත් කළා. එම ඖෂධය භාවිත කළ කිසිදු රෝගියෙකුට සංකූලතාවක් ඇති වුයේ නැහැ. මෙම ඖෂධය රුපියල් 84,000 කට මෙවර ලබාගැනීමට මම පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී තවත් පිළිකා ඖෂධ දෙකක් ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.
පළාත් සභා රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුණා. නමුත් පළාත් සභා පිහිටුවීමට කැමැත්ත පළකළ මම පළාත් සභා රෝහල් පවරා ගන්නේ නැහැ. පළාත් සභාවල බලතල අඩු කිරීමටත් මම කැමැති නැහැ. පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තරම් මුදල් ලබාදෙනවා.” යැයි රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.