පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකරන ලද බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටළු රැසක් පවතින බවට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන මෙන්ම විවිධ බුද්ධිමතුන් කරුණු දක්වා ඇති බවත් ඔහු පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාකච්ඡාවේ දී ද ඒ පිළිබදව සාකාච්ඡා කළ බවත් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව එහිදී සාකාච්ඡා වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නව මැතිවරණ ක්‍රමය යටතේ බහුතර බලය ලබා ගත් කිසිදු පක්ෂයකට ස්වාධීනව බලය පිහිටුවීමට නොහැකි තත්ත්වය ඇතුළු ගැටළු රැසක් මතුවී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කෙරෙන තුරු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.