මානුෂීය මෙහෙයුම් අවසාන කාලසීමාවේදී ජන සංහාරයක් සිදුවූ බවට චෝදනා කරමින් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාවේදී යෝජනාවක් සම්මත වී තිබීම නිසා ජාතික සංහිඳියාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මේ නිසාවෙන් පළාත් සභා ක්‍රමය පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ ඉහත යෝජනාව දෙස බැලීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළින් පිට ගොස් එයට එරෙහිව කටයුතු කිරීමක් ලෙස ගෙනියන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
බස්නාහිර පළාත් සභාවේ නව කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (12දා) පැවති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.
'රට තුළ ඇතිවී තිබෙන ජාතික සහ ආගමික සංහිදියාව නැතිකරන්නයි දෙමළ සන්ධානය මේ උත්සාහ කරන්නේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා 2කට ඔවුන්ගේ කැමැත්තෙන් එක්ව කටයුතු කරන්න පුළුවන්. මේ තත්ත්වය තුළ රට බෙදුම්වාදයට ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා පළාත් සභා ක්‍රමය ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි' යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්ද නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළේය.
'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ කැපකිරීම් කරපු පක්ෂයක්. පසුගිය කාලේ පාක්ෂිකයන්ට විවිධ අසාධාරණකම් සිද්ධ වුණා. ගාමිණී තිලකසිරි මහතාට මෙම අමාත්‍ය ධුරය පිරිනැමුවේ එවැනි අසාධාරණ නිවැරදි කරන්නයි. දේශපාලනයේදී කැපකිරීම් කළ පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. තනතුරට වඩා පක්ෂය ඉදිරියට තබා කටයුතු කළොත් විතරයි කවදා හෝ ඇගයීම් ලැබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වන්නේ ආදර්ශවත් දේශපාලනඥයනුයි'