අද (13දා) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත නව මැතිවරණ ක්‍රමයට අදාළ කෙටුම්පත එළඹෙන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, 20 වැනිදා එය සම්මත කරගැනීමට හැකි වුවහොත් එදින මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බවත් වාර්තා වේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කර නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට අදාළව සියලුම පක්ෂවලින් ලබාගත් අදහස් අනුව සකස් කළ කෙටුම්පත අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කැබිනට් මණ්ඩලයෙන් එය අනුමත වුවහොත් නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කෙටුම්පත එළඹෙන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, 20 වැනිදා විවාදය පවත්වා එදිනම එය සම්මත කරගැනීමට බොහෝදුරට ඉඩ තිබේ.
මෙම පනත සම්මත කරගැනීම සඳහා සියලුම පක්ෂ සහයෝගය දක්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී තිබෙන හෙයින් එම පනත 20 වැනිදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත කරගත හැකිවනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. යම් ලෙසකින් එම පනත එදින සම්මත වුවහොත් දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීම සඳහා එදින මධ්‍යම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත.
ඊයේ (12දා) පයාගල ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලය විවෘත කිරීමට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ කාලය ඉකුත් වී ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු පවත්වන බවයි. එතෙක් සියලුම පළාත් පාලන ආයතන එළඹෙන 15 වැනිදා සිට විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.
එසේම මැයි 20 වැනිදායින් පසුව පක්ෂයට නොදන්වා විදේශගත වීමෙන් වළකින ලෙසත්, මහ මැතිවරණයකට සූදානම් වන ලෙසත් එක්සත් ජාතික පක්ෂය සිය ආසන සංවිධායකවරුන්ට දන්වා යවා තිබේ.
මේ අතර, මෛත්‍රී පාර්ශ්වයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මේ සතිය ගතවීමට පෙර ස්ථිර තීන්දුවක් ලබාදීමට ඉඩ තිබෙන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට නොහැකි බවද ඔවුන්ගේ අදහසයි.