පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකළ කොට්ඨාස නිර්ණ වාර්තාවේ කොට්ඨාස 4833 න් 2000කම සීමා නිර්ණ සිදුකර ඇත්තේ ගැටලුකාරීව බවත්, එය නිසියාකාරව සකසාගන්නා තුරු පළාත් පාලන ඡන්දය පමාවන බවත් පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
එසේම වසර 03 ක් ගතකරමින් සැකසූ එම වාර්තාව කොළඹ සීතල පුටුවල ඉඳගෙන නිලධාරීන් සැකසූ වාර්තාවක් බවත්, එම කොට්ඨාස 2000 තුළදී ඡන්ද දායකයන්ට තම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා අහිමිව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (03දා) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එමෙන්ම සීමා නිර්ණ කටයුතු දිස්ත්‍රික්ක 06 ක පමණක් සිදු කිරීමට වසර 03 ක් ගතව ඇති බවත්, අනෙකුත් දිස්ත්‍රික්ක 19 තුළ සීමා නිර්ණ කටයුතු නිසි පරිදි අවසන් කරන තෙක් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
එහිදී අදහස් පළකළ අමාත්‍ය මුස්තාපා මහතා. “සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු හරයාත්මකව සහ දත්ත ආශ්‍රිතව ජනතාවට දැනුවත් කිරීමට අපට සිදු වෙනවා. නිර්ණායක අනුව නොවෙයි කොට්ඨාස නම් කරලා තිබෙන්නේ. විශේෂයෙන් පනතේ සඳහන් පරිදි කොට්ඨාස බෙදීමේදී ජනවාර්ගික ජනගහන අනුපාතය සහ ඒ මත පදනම්ව නියෝජනයක් ලබාදීම, ප්‍ර‘දේශයේ ජන ඝනත්වය, භූගෝලීය කරුණු සහ භූගෝලීය සාධක, ආර්ථික සංවර්ධන මට්ටම් සලකලා තමයි කොට්ඨාස බෙදීම සිදුවිය යුත්තේ.
හැබැයි මේක මෙම කරුණු මත පදනම්ව සිදු වී නොමැති නිසයි පළාත් පාලන මැතිවරණය කල්යන්නේ. මෙය දේශපාලනික කෝණයකින් බලන්න එපා. අශෝක පිරිස් මහත්මයා මාස 03කින් ඉතිරි දිස්ත්‍රික්ක 19 තුළ කොට්ඨාස නිර්ණය කර අවසන් වාර්තාවක් ලබාදීමට පොරොන්දු වුණා. මට හෙට වුණත් නිසි පරිදි කොට්ඨාස නිර්ණය කර වාර්තාවක් ලබාදුන්නොත් පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්වීමට කටයුතු කරනවා* යැයි පැවසීය.