පළාත් පාලන මැතිවරණය 2016 මාර්තු මස පැවැත්වීමට රජය තීරණය කර ඇත. නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ (09දා) පළමු වතාවට හමු වී මේ පිළිබඳව තීරණය කරන ලදී.
එසේම නව ඡන්ද ක්‍රමයට අනුව කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී සිදුවූ ඇතැම් කරුණු පිළිබඳව නැවත සමාලෝචනය කිරීමටද එහිදී එකඟ විය.
එළැඹෙන මැතිවරණය වර්තමාන අනුපාත ක්‍රමය හා පැරණි කේවල ක්‍රමය යන දෙකෙහිම මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පැවැත්වේ. එහි තුනෙන් දෙකක් කොට්ඨාස ක්‍රමයට (කේවල) ක්රමයටත් තුනෙන් එකක් සමානුපාතික ක්රමයටත් මන්ත්‍රීවරුන් තෝරාගැනීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය නීති පසුගිය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේය.
සියලු පළාත් පාලන ආයතනයන්හි නිල කාලය මේ වනවිට අවසන් වී ඇති අතර, ඒවා විශේෂ කොමසාරිස්වරුන් යටතට පත්කර තිබේ.