ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය අනුව පැවැත්වීමට සියලු පක්ෂ එකඟතාව පළකර තිබෙන බවඅමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම අද (18දා) බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරු විපක්ෂයට ගියහොත් ඇතිවන තත්ත්වට මුහුණදීමට එජාපය සූදානම් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවද තවත් කොටසක් ඉදිරියටත් එජාපය සමග ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.
විශ්වාසභංගයට පෙර දෙමළ සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටින බවත්, එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඊට සහය දෙන බවත් ඒකාබද්ධ විපක්ෂය කියා සිටියත් ඒ කිසිවක් සිදු වූයේ නැති අතර, එජාපයේ සියලු දෙනා විශ්වාස භංගයට එරෙහිව ඡන්දය දුන් බවත් කිරිඇල්ල මහතා එහිදී ප්‍රකාශ කළේය.