නීතිය හැඳි දෙක තුනකින් බෙදීමට ගොස් පසුගිය රජයට සිදුවූයේ කුමක්ද යන්න වත්මන් රජයත්, ජනාධිපතිවරයාත් තේරුම්ගත යුතුබව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන ආයතන යම් සිද්ධියක් වූ විට පූර්ව නිගමනවල සිට කටයුතු කිරීම සම්බන්ධ සිය විරෝධය පළකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මහතා,
“සංහිඳියාව ප්රමුඛ කරගෙන ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න ආපු මේ රජය ජාත්‍යන්තරය ජයග්‍රහණය කළයුතු ආකාරය පෙන්වා දුන්නා. දැන් අපි ජාත්‍යන්තරයට පෙන්වන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් හැටියට සියලු ජන කොට්ඨාසවලට සාධාරණය කරන්න මේ රජය කටයුතු කරනවා කියලා.
අපි ඒකීය ස්වාධීන රාජ්‍යයක් හැටියට කොමිෂන් හරහා පරීක්ෂණ කොට දෙමළ ජනතාවට සාධාරණයක් කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට සාධාරණයක් වන බව පේන්න ඕන. ඒ උදෙසා ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් ගේනවට අපි එකඟ නෑ. ඒ උදෙසා රණවිරුවන් පාවලා දෙන්න අපි සූදානම් නෑ.
ද්‍රවිඩ ජනතාවට සාධාරණත්වය ඉටුවෙද්දී මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කණ්ඩායම් එකම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත්වෙන්න පෙළගැසෙන මොහොතේදී මේ රජය යටතේදී මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙනවා නම්, ඒක අපි හෙළාදකිනවා.
නීතිය ක්‍රියාත්මක කරවන්න තියෙන ආයතන නීතිය වෙනුවෙන් පෙනීසිටින ආයතන යම් සිද්ධියක් වුණාම, ඒ පිළිබඳව පරීක්ෂණය කිරීමට පෙර විදුලි කාන්දුවක් වුණා, එහෙම නැත්නම් රක්ෂණාවරණයක් බලාපොරොත්තුවෙන් මේක කළා, පිටගමක ඉඳලා ගැහුවාය කියන පූර්ණ නිගමනවලට පැමිණීම අපි විරෝධය පළකරනවා. එය අපි හෙළාදකිනවා.
ඒ වගේම නීතිය හැඳි දෙකතුනකින් බෙදන්න උත්සාහ ගන්නවානම් මේ ජනාධිපතිතුමත්, මේ රජයත් තේරුම් ගන්න ඕන, පසුගිය රජයට මොකක්ද වුණේ කියන එක.
බහුතර සිංහල ජනතාවත්, මුස්ලිම් ජනතාවත්, දෙමළ ජනතාවත් පසුගිය රජය ප්‍රතික්ෂේප කළේ ඇයිද කියන පාඩම මේ රජය ඉගෙන ගත යුතුයි.
එහෙම නොවුණහොත් මේ රජයටත් එහි ප්‍රතිඵල විඳින්න වෙනවා කියන එක අපි සියලුදෙනා තේරුම්ගන්න ඕන" යනුවෙන් පවසා සිටියේය.