පසුගිය ආණ්ඩු සමයේදී, දේශපාලන බලය නිසා අගතියට පත් පිරිස් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සහ පාර්ලිමේන්තුවේදී මැදිහත් වීම සිදුකිරීමට තීරණය කර තිබෙන බවත්, මේ නිසා ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස වසර 09 ක් පුරා අගතියට පත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඊයේ (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව සඳහන් කළ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ රාජපක්ෂ පාලනය විසින් අසාධාරණයට සහ පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉෂ්ට කරදීම සඳහා කමිටුවක් පත් කරගත් බවයි.
මෙම කමිටුවට ඉඩම අහිමි වූ සිද්ධි, දේපළ හා ව්‍යාපාර අහිමි වූ සිද්ධි හා අසාධාරණයට ලක්වූ රාජ්‍ය සේවකයන්, වෘත්තිකයන් සහ ශිෂ්‍ය, මාධ්‍ය‘වේදී ගැටලු, කලාකරුවන් අගතියට පත්වීම හා ක්‍රීඩාවට දේශපාලනය ඇතුළත් කරගැනීම ඇතුළු රාජපක්ෂ පාලනය විසින් ජනතාව පීඩාවට පත්කළ සිද්ධි පිළිබඳව තොරතුරු එක්රැස් කරන බවද ඔහු කීය.
මෙම තොරතුරුවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව සහ පාර්ලිමේන්තුව තුළදී මැදිහත්වීම සිදුකරව බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
මේ නිසා මෙවැනි ගැටලුවලට මුහුණදී සිටින සියලු දෙනා අංක 43/20, නුගගහ පෙදෙස, පිළියන්දල පාර, මහරගම ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙසත්, එසේ නොමැතිනම් 0112896394 හෝ 0718106863 අංකවලට තොරතුරු ලබාදෙන ලෙසයි. මීට අමතරව [email protected]විද්‍යුත් තැපෑල වෙතද අදාළ තොරතුරු ලබාදිය හැකි බවද ඔහු පවසයි.