සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් නිකුත් කළ චක්‍ර‘ලේඛයක් හේතුවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ රැකියාව අවදානමට ලක්ව ඇතැයි පවසමින් දින 7 ක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, පසුගිය පෙබරවාරි 18 වැනිදා නිකුත් කළ චක්‍ර‘ලේඛයෙන් පසුව මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය මහ රෝහල, කළුතර මහ රෝහල, නුවරඑළිය මහ රෝහල, රාගම ශික්ෂණ රෝහල, කාසල්වීදිය කාන්තා රෝහල හා අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, දංකොටුව, අලව්ව, කුලියාපිටිය ඇතුළු රෝහල් ගණනාවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ වැටුප් ලබා නොදෙන ලෙසට නියෝග පනවා තිබෙන බවයි.
සෞඛය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.පී. දිසානායක මහතා විසින් නිකුත් කළ 0288/2014 (1) චක්‍ර‘ලේඛය අනුව හෙද සේවාව යටතට පවුල් සෞඛය සේවාව පත්කර ඇති බව ඇය පෙන්වා දුන්නාය.
ඒ ආකාරයට එක් සේවාවක් යටතට වෙනත් සේවාවක් ඇද දැමීමක් මින් පෙර කිසිදු අවස්ථාවදී සිදු නොවූ බවද කොඩිතුවක්තු මහත්මිය කීවාය.
ඊයේ (02දා) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහත්මිය සඳහන් කළේ, ආයතන ප්‍රධානියා යටතට සේවකයන් වාර්තා කළ යුතු බවට ආයතන සංග්‍රහයේ සඳහන් වුවද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පමණක් ප්‍රධාන හෙද නිලදාරියා යටතේ වාර්තා කළ යුතු බවට නව චක්‍ර‘ලේඛයෙන් දන්වා තිබෙන බවයි. එම නියෝග පිළිනොපදින නිලධාරීන්ගේ වැටුප ලබානොදෙන ලෙසට නියෝගයක් පනවා ඇති බවද ඇය කියා සිටියාය.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා සහ ඇමතිවරයා මුණගැසීමට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළද ඔවුන් මගහැර සිටින බව පැවසූ දේවිකා කොඩිතුවක්කු මහත්මිය, අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළ බව පැවසුවාය.
එම සත්‍යග්‍රහයට සහභාගි වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අමාත්‍යාංශයේ වැසිකිලි භාවිත නොකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා නියෝගයක් පනවා තිබීම හේතුවෙන් ගර්භිනී පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට පවා කොටුව දුම්රිය පොළ අසල පිහිටි වැසිකිළි වෙත යෑමට සිදුව ඇතැයි ඒ මහත්මිය සඳහන් කළාය.
ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා හෝ ලේකම්වරයා යහපත් ප්‍රතිචාරයක් දක්වන තුරු මාරාන්තික උපවාසයකට පිවිසීමට තීරණය කළ බවද ඇය අවධාරණය කළාය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු