තමන් පවුල් ගස් හා වනාන්තර හදඳන්නේ නොමැති බවත්, ජනපති සම්බන්ධීකරණ තනතුරු ස්වාමීන් වහන්සේලාට පිරිනමන්නේ නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21දා) පැවැසීය.
ගම්පහ, පහළයාගොඩ ශ්‍රී සුගතනන්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"පසුගිය ජනාධිපතිවරණයේදී කතා කළා ඥාතීන්ට සලකන පවුල් වනාන්තරයක් ගැන. මම පවුල් ගස් සහ පවුල් වනාන්තර හදන්නෙ නැති කෙනෙක්. මට එහෙම හදනව නම් ජනාධිපති වෙන්න කලින් මැති ඇමතිකම් කරපු කාලේ අවුරුදු 25ක් පාර්ලිමේන්තුවෙ හිටපු කාලෙ කරන්න තිබුණා.
මම මේ ධුරයට පත්වෙලා පළමු සතියෙම මගේ ජයග්‍රහණයට කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇවිල්ලා උන් වහන්සේලාව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු විදිහට පත්කරන්න කියලා මට තොරතුරු දුන්නම මම එකහෙලාම උන්වහන්සේලාට කියා සිටියා මම ස්වාමීන් වහන්සේලාව මගේ ලේකම්වරු විදිහට පත්කරගන්නේ නෑ කියලා.
මම මගේ ලේකම් ඇතුළු කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නා ස්වාමීන් වහන්සේලාව මගේ පෞද්ගලික කාර්යමණ්ඩලය වශයෙන් පත්වීම් දෙන්නෙ නෑ කියලා. මගේ ප්‍රතිපත්තිය බුද්ධාගමේ කටයුතුවල චිරස්ථිතිය සඳහා ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබාගෙන උන්වහන්සේලාගේ මගපෙන්වීම තුළ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත්කිරීමයි. මේ මණ්ඩලය ස්වේච්ඡා උපදේශක මණ්ඩලයක් මිසක් පඩි ගෙවන වාහන දෙන මුදල් දෙන තනතුරු නෙවෙයි ඒවා." යැයි පැවසීය.