- මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්යක්ෂ
බැඳුම්කර මිලදීගැනීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා සේවක අර්ථසාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැරහැර ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්යක්ෂ වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය.
මීට පෙර අවස්ථාවකදීද රුපියල් මිලියන 360 ක මුදලක් ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයි පැවසූ වසන්ත කුමාර අල්විස් මහතා මෙම මුදල හා සැසඳීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැරහැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ අගයක් ගන්නා බවද බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්යක්ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා එසේ හෙළි කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කොට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.