තම විහාරස්ථානයේ දමා ගිය අලි පැටවෙකු ආදරයෙන් රැකබලාගත් තමාගෙන් එම අලියාගේ බලපත්‍ර ඉල්ලන බවත්, අලි පැටවා නිසාවෙන් තමා අත්අඩංගුවට ගන්නේ නම් නීතියට ගරු කර ඊට ඉඩදෙන දෙන බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පැවසූහ.පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ
වැඩවාසය කරන හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියෝ ඊයේ (17දා) එම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ.
තමන් වහන්සේ සියලු සත්ත්වයන්ට ආදරය කරුණාව දක්වන බවත්, බොහෝ අය තම පන්සලේ අලි රඳවා තැබීමට ප්‍රියතාවක් දක්වන බවත් උන්වහන්සේ පවසා සිටියහ.බල්ලන්, පූසන් හරකුන් පමණක් නොව මිනිසුන් කිහිපදෙනෙකුද තම විහාරස්ථානයේ දමාගිය අවස්ථාවලදී ඔවුන්වද තමා ආදරයෙන් බලාගත් බව ධම්මාලෝක හිමියෝ සඳහන් කළහ.
එමෙන්ම බන්ධනාගාරගත වීමට තමා සූදානම් බවත්, කිසිවිටක බන්ධනාගාර රෝහලට නොයන බවත්, වාට්ටුවේ සිරකරුවන්ට දෙන දානය වලඳන බවත් උන්වහන්සේ පැවසූහ.මෙම නඩුවට වියදම් කිරීමට තමන්වහන්සේට මුදල් නොමැති බැවින් තමන් වහන්සේගෙන් ධර්මය ඇසූ සියලුදෙනාට අඩු ගණනේ රුපියල් දහය බැගින් හෝ පූජා කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
ආදරයෙන් කරුණාවෙන් සතෙකුට සැලකීම බලවත් වරදක් බව යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් පවසන්නේ නම්, එමගින් තමන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ දරන්නේ නම්, ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නිහතමානීව, උපේක්ෂාවෙන් හා මෛත්‍රියෙන් ඉදිරිපත් වන බවද එහිමියෝ පැවසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මාලෝක හිමියෝ, "බල්ලන් බළලුන් අපේ පන්සලට ගෙනැවිත් දානවා. පෙරහරකට ගෙන ආ අලියන් සමග සිටි අලි පැටවෙකු පන්සලේ දමා ගිහින් තිබුණා. වසරක් පමණ ඒ පැටියා මම ආදරයෙන් කවාපොවා හදාගත්තා. දැන් මගෙන් එම අලියාගේ බලපත්‍ර ඉල්ලනවා. මං මේ බව ඒ කාලෙම වනජීවී ඇමතිටත් කිව්වා.
මේ අලි පැටියා නිසා මා අත්අඩංගුවට ගන්න යනවා. අලි පැටවාට ආහාරපාන සැපයීම වරදක් යැයි පුද්ගලයෙකු හෝ සංවිධාන පවසනවා නම් ඔවුන්ගේ ළාමක බලාපොරොත්තු ඉටුකර ගැනීමට මම නිහතමානීව ඉදිරිපත් වෙනවා. එයට මම සූදානම්. මම නීතියට ගරු කරනවා. සිරගත වීම මගේ දිවියට නවතම අත්දැකීමක් වේවි. එය මට භාවනාවේ යෙදීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ලෙස සලකා මම එය වැලඳ ගන්නවා" යැයි පවසා සිටියහ.