ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා ඊයේ (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.
දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.
මෙම සංචාරක දුත පිරිසට ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සහ එම මැතිණිය අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය සමගින් පකිස්තානු යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි, නෂීයා ඉෆ්තිකර් බේගම් මහත්මිය, පකිස්තානු හමුදාධිපති අධි සහායක ලුතිනන් කර්නල් අෂිෆ් හෂ්මාට් සහ කපිතන් කශාන් සයීඩ් ද එක්ව සිටියහ.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හි සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය විසින් ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා සහ අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය ඇතුළු සංචාරක හමුදා දුත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
යුද්ධ හමුදා මූලස්ථානයේ දී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් අද(16) දින පිරිනැමීමට නියමිත අතර, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් ද හමුවීමට නියමිතය. මීට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් අයේෂා අම්ජාඩ් බේගම් මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ.