ශ්රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන්කිරීමට සූදානම් නොවන ලෙසත්, යමෙක් එසේ සිදුකළහොත් ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවටත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී පිරිසට පවසා තිබේ.
ඊයේ (25දා) රාත්රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ට මේ බව පවසා ඇති බව 'අද'ට වාර්තා වෙයි.ශ්රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඇත්තේ එක් පක්ෂයක් පමණක් බවත් එය කොටස් වශයෙන් බෙදී නොයා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්රීවරුන් පවසා ඇත්තේ නිදහස් පක්ෂය සුරකිනවා යනු එජාපය සමග එක්වීම නොවන බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වන්නේ නම් ශ්රී ලංකා නිදහස් පක්ෂ රජයකට සහයෝගය දීමට තමන් සූදානම් බවද මෙහිදී ඔවුන් ප්රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවද වාර්තා වෙයි.