එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය හුදු තනතුරු මාරුවක් පමණක් වුවහොත් පක්ෂයේ අනාගත පැවැත්ම පිළිබඳ අභියෝගයක් වනු ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
මෙරට පුළුල්ම දේශපාලන ව්‍යාපාරය වන එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුත්තේ ජනතාව වෙනුවෙන් බවත්, පක්ෂය ගොඩනගන නැතහොත් ප්‍රතිසංවිධානය කරන සැලැස්ම සකස් වියයුත්තේ අනාගත දශක ගණනාවක් ඉලක්ක කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සහ යහපත් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් බවද සඳහන් කරයි.
“වර්තමානය වනවිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ තුළ මෙන්ම පක්ෂ ක්‍රියාකාරී සැලැස්ම තුළද බලාපොරොත්තුවූ සාධනීය මට්ටමක් පවතින්නේ නැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කර අවසන්.
දැන් අප විසින් කළ යුතුව ඇත්තේ ජනතාව ලබාදී ඇති අනතුරු ඇඟවීම තේරුම්ගෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වීමයි. පක්ෂ අභ්‍යන්තරය තුළ අප මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. පවතින දේශපාලන වතාවරණය තුළ අප විසින් කළ යුතුව ඇත්තේ අතීතයේ දේශපාලන පළිගැනීම් විසඳීම, රැකීරක්ෂා සහ සමෘද්ධිය සාධාරණ ලෙස බෙදීයාම, ජීවන වියදම පාලනය සඳහා ජනතා සංවේදී නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමයි.
පුද්ගලයන්ට තනතුරු ලබාදීම වෙනුවට වර්තමාන දේශපාලන වටපිටාව තුළ ජනතාවගේ හැඟීම් තේරුම් ගනිමින් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ප්‍රබල හා කාලීන අවශ්‍යතාවයක්” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.